You are here
Home > GOSSIP > ගෝලයෝ නෑ… යාළුවෝ නෑ… තනි ගේම… එකම වාහනය පස්‌ දෙනෙකුට විකුණු අමුතුතාලේ ලෝක හොරෙක්‌

ගෝලයෝ නෑ… යාළුවෝ නෑ… තනි ගේම… එකම වාහනය පස්‌ දෙනෙකුට විකුණු අමුතුතාලේ ලෝක හොරෙක්‌


කොට්‌ටාව, මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිනාස්‌ මුස්‌ලිම් ජාතිකයෙකි. කොළඹ විදුහලකින් මූලික අධ්‍යාපනය හැදැරුවද මොහු පාසල් කාලයේ සිටම කට්‌ට කෛරාටික පුද්ගලයකු විය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මොහු හෝටල් ක්‌ෂේත්‍රයට සම්බන්ධ පාඨමාලාවක්‌ හැදෑරුවේය. ඉන්පසු කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් රැසක මොහු සේවය කළේය.

නියමිත වයස පැමිණීමත් සමඟම මොහු විවාහ වූවේය. ඒ තමා කලක සිට ඇසුරු කළ තරුණියක්‌ සමඟයි. වසර දෙකක්‌ ඇතුළත විවාහ ජිවිතය දෙදරා ගියේ මොහුගේම වැරැදි හේතුවෙනි.

රිනාස්‌ සල්ලිවලට දැක්‌වූයේ දැඩි කෑදරකමකි. මොහුට උවමනා වූයේ ඉක්‌මනින් කෝටිපතියකු වීමටයි. හෝටල් රස්‌සාව කර තමාගේ ඉලක්‌කය කිසි දිනක ඉටුකර ගැනීමට නොහැකි බව ඔහු තේරුම් ගත්තේය. එම නිසා ඔහු නීති විරෝධී අයුරින් මුදල් ඉපැයීමට තීරණය කළේය.

එලෙස මුදල් ඉපැයීමට ලෙහෙසිම ක්‍රමය වාහන සොරකම් කර විකිණීම බව මොහු තේරුම් ගත්තේය. ඒ අනුව ඔහු වාහනවල අගුල් ඇරීම, චැසි අංක, එන්ජින් අංක වෙනස්‌ කිරීමට පුරුදු පුහුණු වූවේය. ඉන්පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවෙන් හොර ලිපි ලේඛන සකස්‌ කරගන්නා ආකාරය ගැනද ඔහු අධ්‍යයනය කළේය. සියල්ල දැනගත් පසු රිනාස්‌ වාහන සොරකම් කර විකිණීමේ හොර ජාවාරම පටන් ගත්තේය.

දිනක්‌ මොහු කුලී රථ සේවයකට කතා කර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ගෙන්වා ගත්තේය. එහි නැගගත් මොහු තවත් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට යන ලෙස එහි රියෑදුරාට පැවසුවේය. පැය කාලකින් පමණ අදාළ හෝටලය වෙත ඔවුන් පැමිණියේය.

රිනාස්‌ මෝටර් රථයේ රියෑදුරුට පැවසුවේ හෝටලයේ අසවල් කාමරේ මගේ ගමන් බෑගය තියෙන බවත්, කරුණාකර එය ගෙනත් දෙන ලෙසත්ය. මෙම හොර තක්‌කඩියාගේ තරම නොදත් එම රියෑදුරා මෝටර් රථයෙන් බැස අදාළ හෝටල් කාමරය සොයා ගෙන ගියේය.

එම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් රිනාස්‌ මෝටර් රථය සොරකම් කළේය. පසුව එම හොර තක්‌කඩියා රසායනික ද්‍රව්‍යයක්‌ භාවිතා කරමින් එහි එන්ජින් සහ චැසි අංක වෙනස්‌ කළේය. ඉන්පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ අල්ලසට සේවය කරන පුද්ගලයකු හරහා එම මෝටර් රථය සඳහා අලුත් පොතක්‌ද ලබා ගත්තේය.

සතියක්‌ පමණ එම මෝටර් රථය පාවිච්චි කළ මොහු පසුව එය බදුල්ල ප්‍රදේශයේ ගුරුවරයකුට අලෙවි කළේ වෙළෙඳ පොළේ පවතින මිල ගණන් යටතේමය. මෙලෙස පටන් ගත් වාහන සොරකම් කිරීම මොහු දිගින් දිගටම කරගෙන ගියේය.

මුස්‌ලිම් ජාතිකයකු වුවත් ඇතැම් අවස්‌ථාවල මොහු පෙනී සිටින්නේ සිංහලයකු ලෙසින්ය. රිනාස්‌ සතුව හොර හැඳුනුම්පත් දහයක්‌ පමණ තිබුණි. ඒවා සකස්‌ කරගෙන තිබුණේ වෙනත් පුද්ගලයන්ගේ පිංතූරය ඉවත්කර ඒ වෙනුවට තමාගේ පිංතූරයක්‌ ඇතුළත් කර ගැනීමෙන්ය. සොරකම් කළ වාහන විකුණන සෑම අවස්‌ථාවකදීම ඔහු භාවිතා කළේ හොර හැඳුනුම්පත්ය.

මුල් කාලයේ මොහු සොරකම් කළේ තම පදිංචි ස්‌ථානය සමීපයේ මෝටර් රථයි. පළමුව සුඛෝපභෝගී මෝටර් රථයක්‌ තිබෙන පුද්ගලයකු පිළිබඳ මොහු ඇස ගසාගෙන සිටියි. ඉන්පසු එම මෝටර් රථය නවතා තබන ස්‌ථාන පිළිබඳ හොර රහසේම අධ්‍යයනය කරයි. ඉන්පසු එම වාහනයේ අගුළු හොර රහසේ පරීක්‍ෂා කර එයට සරිලන යතුරක්‌ මොහු විසින්ම සකසා සුදුසු අවස්‌ථාවක්‌ බලා මෝටර් රථය සොරකම් කර පොත්පත් සාදා විකුණයි.

මෙලෙස වාහන සොරකම් කිරීමේ සිද්ධීන් රැසක්‌ සම්බන්ධව බොරැල්ල පොලිසිය මගින් මොහුව අත්අඩංගුවට ගන්නේ දැනට වසර හතකට පමණ පෙරයි. එලෙස අත්අඩංගුවට ගත් මොහුව රාත්‍රී කාලයේ සිර මැදිරය තුළ රඳවා තබන්නේ පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ය. එහෙත් මොහු ඉතා සූක්‍ෂම අයුරින් එම සිර මැදිරියේ යකඩ කූරු කඩා පලා යන්නේ පොලිසියටද කොකා පෙන්වමින්ය.

පොලිසියෙන් එලෙස පලායන රිනාස්‌ රටපුරාම වාහන සොරාගෙන විකිණීමට පටන් ගත්තේය. එක්‌ වරක්‌ මොහු එකම මෝටර් රථය පස්‌ දෙනකුට විකුණා තිබුණි. තවත් වරක්‌ වෑන් රථයක්‌ පුද්ගලයන් තිදෙනෙකුට විකුණුවේය.

වාහන සොරකම් කිරීම වැඩිවීමත් සමඟ මොහුට රට පුරාම පොලිසිවල පැමිණිලි තිබුණි. අධිකරණ කිහිපයකින් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි. ඒ කිසි දෙයකට බිය නොවෙමින් මොහු දිගටම වාහන හොරට විකිණීමේ ජාවාරම සිදු කරගෙන ගියේය.

පොලිසිය කොතරම් මොහු පසුපස ලුහුබැන්දත් අවස්‌ථා කිහිපයකදී විදෙස්‌ ගතවීමට තරම් රිනාස්‌ දක්‍ෂයකු විය. තවද මොහු ලීසිං ආයතනයකින් ව්‍යාජ නම් ගම් ඉදිරිපත් කර සුඛෝපභෝගී මෝටර් රථයක්‌ පවා මිලදී ගෙන තිබුණි. පසුව එහි වාරික නොගෙවා හොර ලිපි ලේඛන සකස්‌ කර හොර රහසේම වෙනත් පුද්ගලයකුට එය විකුණුවේය.

මෙම හොර තක්‌කඩියා වාහන සොරකම් කර විකිණීමට අමතරව හෙරොයින් විකිණීමටද පටන් ගත්තේය. ඒවාද ඉතා සූක්‍ෂම අයුරින් විකිණීමට මොහු සමත් විය. මාස කිහිපයක්‌ ඇතුළත මොහු හෙරොයින් විකුණා විශාල මුදලක්‌ ඉපැයුවේය.

අපරාධකරුවෙකුට සැමදා සැඟව සිටිය නොහැකිය යන කියමන සැබෑ කරවමින් මොහුවද පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ හෙරොයින් ග්‍රෑම් කිහිපයක්‌ සමඟින්ය. එලෙස අත්අඩංගුවට පත්වූ මොහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කළ අපරාධ සියල්ල දැන ගැනීමට හැකිවිය.

lankadeepa news


Comments

comments

Loading...

Leave a Reply

Top