You are here
Home > LATEST NEWS > ක්‍රිස්තියානි හා කතෝලික ආගමික ස්ථාන වලට පහරදී නෑ – අගරදගුරු (Video)

ක්‍රිස්තියානි හා කතෝලික ආගමික ස්ථාන වලට පහරදී නෑ – අගරදගුරු (Video)


එකිනෙකාට පහරදීමට හෝ පහත් කර සැලකීමට ආගම අතකොළුවක් කර නොගන්නා ලෙස හා එවැනි දෙයක් කළොත් එය රටට කරන ලොකු ද්‍රෝහි කමක් බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ක්‍රිස්තියානි හා කතෝලික ආගමික ස්ථාන රාශියකට පසු ගිය කාලයේ පහරදීම් සිදුව ඇති බවට කෙරෙන ප්‍රකාශවල සත්‍යයක් නොමැති බව පෙන්වාදෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළේය.

තමන් කොළඹ අගරදගුරු පදවිය දරමින් අනෙකුත් අගරදගුරු තුමන්ලා සමග නිතරම සමීපව ගනුදෙනු කරන බවත්, ඔය තරම් දුරට දේවස්ථාන පල්ලි වලට හානි සිදුවුණා යයි තමන් නොදන්නා බවත් අගරදගුරු හිමියන් පෙන්වා දුන්නේය.

එලෙස පහරදීම් සිදුවූ බවට වන සංඛ්‍යා ලේඛන කොහෙන් පැමිණියේදැයි තමන් නොදන්නා බවත්, ඇතැම් විට මූලධර්වාදී කිතුණු කණ්ඩායම් දේවස්ථාන හදන්නට ගොස් හෝ තම සාමාජිකයින් නැති තැන්වල සාමාජිකයින් ඇති කරගන්නට ගොස් එවැනි ගැහැට ඇතිවූවාදැයි නොදන්නා බවත් කාදිනල් හිමියන් අවධාරණය කළේය.

නමුත් කතෝලික සභාවට අදාළව නම් පසුගිය කාලයේ එවැනි පහරදීම් හෝ ආගම ඇදහීමට බාධාවූ බවක් කියන්නට අමාරු බවත්, තමන් බාරව සිටින බස්නාහිර සභාවේ නම් එවැනි කතෝලික දේවස්ථාන හෝ සිද්ධස්ථානවලට අදාළව එවැන්නක් වාර්තා වී නැති බවත් හිමිපාණන් කියා සිටියේය.

අවුරුදු 30ට ආසන්න යුද්ධයකින් පසුව ජීවිත රාශියක් නැතිකර, දේපළ අලාභ හානි විශාල වශයෙන් විඳ නැවත ගොඩනැඟීමේ කාලපරිච්ඡේදයකට රට ඇවිත් ඇති යුගයක ආගම අරගලයක පදනමක් කර ගැනීම සුදුසු නැති බව කාදිනල් හිමියන් මෙහිදී පෙන්වා දුන්නේය.

ආගම යනු කිසි කෙනෙකුට විරුද්ධව සටන් කරන්නට මෙහෙයවන්නක් නොවන බවත්, මෙය මිනිසෙකුගේ ඇතුළාන්ත වටිනාකමක් බවත්, පටු අදහස් අනුව ආගම යන්ත්‍රයකට සීමා කරගතහොත් , බාහිර වත් පිළිවෙත්වලට පමණක් මුල් තැන දුනහොත් මෙවැනි ගැටළු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාදිනල් හිමියන් සඳහන් කළේය.

ආගම නිවරදිව අදහන්නේනම් ආගම් අතර ගැටුමක් ඇතිවීමට හේතුවක් නොමැති බවත්, අවාසනාවකට දේශපාලන බලවේග ආගම පාවිච්චි කොට, භේද ඇතිකරලා බලය අල්ලා ගැනීමට උත්සාහ කිරීම හෝ බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීම් ඉතිහාසය පුරාම සිදුවී ඇති බවත් හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේය.

– දෙරණ –


Comments

comments

Loading...

Leave a Reply

Top