5120
You are here
Home > LATEST NEWS > කොරියාවේ සේවය කරන ශ්‍රමිකයින්ට 2017 ට වැටුප් වැඩිවන්නේ මෙහෙමයි..

කොරියාවේ සේවය කරන ශ්‍රමිකයින්ට 2017 ට වැටුප් වැඩිවන්නේ මෙහෙමයි..


මෙවර වැටුප් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී ජනවාරි මස 01 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ක්‍රියාත්මක වෙන පරිදි වැටුප් වැඩි වීම ක්‍රියාත්මක වෙන අතර පෙබරවාරි මාසයේ වැටුප් දිනයේ සිට ඊට හිමිකම් සැලසේ. එමෙන්ම කොරියාවේ සියළුම නිෂ්පාදන සමාගමක්ම මෙලෙස නියම කරන අවම වැටුප හෝ ඊට වඩා වැඩි වැටුපක් ශ්‍රමිකයින් වෙත ගෙවීමට බැදී සිටී.

ඒ අනුව මෙම වසරේ කොරියාවේ සියළු කර්මාන්තවල සිදුවන වැටුප් සංශෝධනයන් පහත පරිදි සිදුවිය හැකිය.

ශ්‍රමිකයෙකුගේ පැයක වැටුප : වොන් 6470

ශ්‍රමිකයෙකුගේ දිනක වැටුප( පැය 08ක් සදහා) : වොන් 51760

ශ්‍රමිකයෙකුගේ මසක වැටුප (පැය 209ක් සදහා) : වොන් 1352230

ශ්‍රමිකයෙකුගේ අතිකාල(OT) පැයක වැටුප : වොන් 9705 (6470 x 1.5)

මෙලෙස සංශෝධනයවන වැටුප් අනුව සෑම නිෂ්පාදන ආයතනයක්ම සිය ශ්‍රමිකයින්ට මෙන්ම විදේශීය රටවල ශ්‍රමිකයින්ටද වෙනසක් නොමැතිව නිසියාකාරව ගෙවිය යුතු වේ. ශ්‍රමික වැටුප් වැඩි වීම කෙරෙහි අවධානය යොමු කිරීමේදී 2014 වසරේදී වොන් 5220ක් වශයෙන්ද, 2015 දී වොන් 5580ක් ලෙසින්ද, 2016 දී වොන් 6030 ලෙසද වැඩිවී ඇති අතර එය මෙම වර්ෂයේදී වොන් 6470ක් ලෙස වැඩි වී තිබේ.

නිදර්ශනයක් ලෙස, රාත්‍රිසේවා වැඩමුරය රාත්‍රි 8.00 සිට උදෑසන 8.00දක්වා කරන්නේ නම් (කෑම පැය 01 සහ තේ පානයට ලබා දෙන මිනිත්තු 30 ක කාලය හැර) පැය 10ක් හා මිනිත්තු 30ක් සඳහා වැටුප ගෙවිය යුතුය. එහිදි දිනක වැඩ කළයුතු පැය 8ක කාලය සඳහා වොන් 6470 ක මුදලක්ද ඉතිරි පැය 02 හා මිනිත්තු 30ක කාලය සඳහා පැයකට වොන් 9705 වශයෙන් අතිකාල ගෙවිය යුතුය. එමෙන්ම ඔවුන්ට දිරි දීමනා වශයෙන් රාත්‍රි 10.00 සිට උදෑසන 06.00 දක්වා සේවයේ යෙදෙන සෑම පැය 01 කටම වොන් 3235ක මුදලක් ගෙවිය යුතුය. එය ගණනය වන්නේ පහත පරිදිය.

(6470 × පැය 08)
(9705 ×OT පැය 2.5)
(3235 × රාත්‍රී දිරි දීමනා පැය 6.5)

ඉහත සදහන් කරන පරිදි මෙම වසරේ වැටුප් වැඩිවීම කොරියාව තුළ කර්මාන්ත ක්ෂේත්‍රය, ඉදිකිරීමේ ක්ෂේත්‍රය, නිෂ්පාදන මෙන්ම ධීවර යන සියළුම අංශ සදහා අදාළ වෙන අතර අතිකාල දීමනා (OT) හිමි වීම බොහෝවිට අදාළ වන්නේ ඉදිකිරීම් හා නිෂ්පාදන අංශවලට පමණි. නමුත් රාත්‍රි දිරි දීමනා වශයෙන් ලබා දෙන වොන් 3235 (රාත්‍රි 10.00 සිට උදෑසන 06.00දක්වා අතර කාලයේ සේවයේ යෙදෙනවා නම්) ධීවර හා කෘෂිකාර්මික අංශයටද අතිකාල දීමනා (OT)ලබා දිය යුතු වේ.

යම් අවස්ථාවක මෙලෙස ගෙවිය යුතුවන වැටුප් හා දීමනා කිසියම්වූ නිෂ්පාදන ආයතනයක් ගෙවීම පැහැර හරින අවස්ථාවක ඒ සම්බන්ධව කර්මාන්තශාලාව අයත් ප්‍රදේශයේ පිහිටි කම්කරු කාර්යාලයට පැමිණිලි කිරීමට ශ්‍රමික ඔබට අයිතියක් ඇත. එසේම සමස්ථ කොරියාවම ආවරණය කරන පරිදි ස්ථාපිත කර තිබෙන විදේශ උපකාරක මධ්‍යස්ථාන වෙතද ශ්‍රමික ගැටළු ඉදිරිපත් කිරීමට හැකි අතරම ඔබේ පහසුව සදහා මධ්‍යස්ථාන 08ක් කොරියාව තුළ පිහිටුවා තිබේ.


Comments

comments

Leave a Reply

Top