2677
You are here
Home > DOCUMENTRY > ලෝක වාර්තා තියපු අපේ රටේ පුංචි ආතර් සී ක්ලාක්!!!

ලෝක වාර්තා තියපු අපේ රටේ පුංචි ආතර් සී ක්ලාක්!!!


දෑඅවුරුද්දකට ඉහත්තේ එළිය වැටුණු ඒ දවස පිරී තිබුණේ බලා‍පොරොත්තුවලින්මය. තාත්තාගේ අතැඟිල්ලක එල්ලුණු පුංචි පුතෙක් කිරිකොක් පාට ඇඳුම ඇඟලා පුංචි පාස‍ලේ, පුංචි ගේට්ටුවෙන් අලුත් ලෝකයකට පා එසෙව්වේය. මට අලුත් දේවල් ගොඩක් කරන්න පුළුවන් නේද තාත්තේ? පුංචි පුතා තාත්තාගේ කනට හෙමින් කීවේ සතුටු සිනා මුව පුරවාගෙනයි. පුංචි පුතාගේ සිතේ පිරී තිබුණේ ලොකු බලා‍පොරොත්තු බව තාත්තාට යළි මතක් වූයේ ඒ කතාවෙනි.
පුංචි පුතාගේ ලොකු සිහින, ලොකු බලා‍පොරොත්තු තාත්තාට අලුත් නැත. තාත්තාද කවදත් ඒ සිහිනවලට ආසා කළේය.

‘ඉන්ද්‍රජිත් ප්‍රභාස්වර කරුණානායක’ කඩවත, සූරිය ප්‍රදීප විදුහ‍ලේ පුංචි පුතාටම වෙන්වුණු ඉඩ ගැන ඇසුණු කැඳවුම තාත්තාගේත්, පුතාගේත් කතාව අතරමගදී නතර කර දැමුවේය. අලුත් පන්තිය, පුංචි ඉන්ද්‍රජිත්ගේ මුහුණට ගෙනා සිනහවේ තරම අලුත් පන්තියේ වාඩිවී අලුත්ම ගමනක් යන්නට පටන්ගත් පුංචි ඉන්ද්‍රජිත් දැන් දෙකේ පන්තියේය. අවුරුද්දකින් ලොකු මහත් වෙද්දී අවුරුදු ගණනක දස්කම් ලෝකයට පෙන්වාද ඇත්තේය. ලෝකයෙන්ම පළමුවන්නා වන්නට තරම් වූ පුංචි ඉන්ද්‍රජිත්ගේ දස්කම් අපව ඔහු වෙත කැඳවා ගත්තේය.

හැළුණු කිරිදත් අමතක කරවා මතුවුණු අලුත් දසන් පෙන්වා සිනාසෙමින් ආ පුංචිත්තා මට පෙනුණේ මහා දක්ෂයකුට වඩා සුරතල් පුංචිත්තෙක් කියාමය. අපි ඔයාව බලන්න ආවේ විදුහල්පති කාමරයේ බිත්තියේ එල්ලීගෙනම අප දෙස බලා සිටි පුංචි පුතාට මම කීවෙමි. උත්තරය සිනහවකි. අපි ටිකක් කතා කරමුද? මම යළිත් ඇසුවෙමි. කටින් නොකීවත් හිස වනා ‘හා’ කී පුංචි ඉන්ද්‍රජිත් ළඟම ඇති උස පුටුවක අමාරුවෙන් වාඩිගත්තේය. තාත්තා කාමින්ද කරුණානායකද පුතු ළඟින්ම සිටියේය.

අපේ කතාවේ පුංචි කථානායකයාගෙන් අසා දැනගන්නට බොහෝ දේ ඇතත් අපේ කතාවේ වීරයාත් නොදන්නා වීරකම් ගැන අතීත කතාවට ඉඩදීමට මම සිතුවෙමි. කතා කළේ තාත්තායි.

මේ අපේ එකම පුතා. පුතා පුංචි කා‍ලේ ඉඳලාම හරිම ඉක්මනට දේවල් ඉගෙන ගත්තා. මට මතක හැටියට මාස පහක් විතර යද්දී කතා කරන්නත් පටන්ගත්තා. කොච්චර හොඳට කතා කළාද කියනවා නම් මාස අට පහුවෙද්දීම අකුරු කියවන්නත් වුණා. මුලින් අපෙන් අහගෙන පුංචි ‍පොත්වල තියෙන කතා කියෙව්වා. අවුරුදු දෙකක් විතර යද්දී හොඳට කියවන්න පුළුවන්කම තිබුණා. පුංචි කතා ‍පොත් කොච්චර ගෙනැත් දුන්නත් හරි ඉක්මනට කියවලා ඉවර කළා. පස්සේ මෙයා මගෙයි, මෙයාගේ අම්මාගෙයි ‍පොත් අරගෙන කියවන්න හැදුවා. පුතාගේ අම්මා නිලානි වරලත් ගණකාධිකාරිවරියක්, මම පරිගණක ඉංජිනේරුවෙක්. අපි පාවිච්චි කරන ‍පොත්වල තියෙන දේවල් පුංචි දරුවකුට තේරෙන්නේ නැහැනේ කියලයි අපි හිතුවේ. ඒ වුණාට ඒ ‍පොත් කියවලා එක එක ප්‍රශ්න අහන්න පටන්ගත්තා. සමහර පුංචි දේවල් නම් කියලත් දුන්නා.

පස්සේ දවසක් ආතර් සී. ක්ලාක් මහත්තයාගේ ‘2001’ ‍පොත අරගෙන කියවන්න හැදුවා. එයාට කියවන්න අමාරු වගේ දේවල් මම කියලා දුන්නා. ඒ කතා හරි ආසාවෙන් අහගෙන හිටියා. අභ්‍යවකාශය ගැන, තරු ගැන, පිටසක්වල ජීවීන් ගැන විස්තර අහන්න පටන්ගත්තා. පස්සේ ‘2010’ ‍පොතත් එයා කියෙව්වා. දැන් කියනවා ‘2061’ ‍පොතත් කියවන්න ඕනලු.

තාත්තා කියන්නේ පුංචි ඉන්ද්‍රජිත්ගේ පුංචිම කාලය ගැනයි. අවුරුදු දෙකේද තුනේදී ආතර් සී. ක්ලාක්ගේ ‘ඉනචජඥ ඤරඵඵර’ ‍පොත් කියවනවා තබා ලොකුම ලොකු අකුරු ඇති කතාන්දර ‍පොත් කියවා ගන්නටද අමාරුය. පුංචි ඉන්ද්‍රජිත්ට නම් ආතර් සී. ක්ලාක්ගේ ‍පොත් ළමා කතාන්දරවලට වඩා රසවත් වී ඇති සැටියකි. තාත්තාගේ කතාවට විරාමයක් තැබූ මම අපේ වීරයා දෙසට හැරුණෙමි. ගොඩක් ආසද ‍පොත් කියවන්න? කැරකෙන පුටුවක කරකැවෙමින් සිටි ඉන්ද්‍රජිත් යළිත් හිස වැනුවේය. ආතර් සී. ක්ලාක්ගේ ‍පොත්ද? මම යළිත් ඇසුවෙමි. කතා නැත. යළිත් හිස වනමින් ඔව් කීවේය. මටත් කියනවද ඒ ‍පොතක කතාවක්? පුදුමයක් විය. එවර නම් අපේ වීරයා කතා කළේය.

2001-ඉනචජඥ ඤරඵඵර කතාවේ හිත රැඳුණු තැන් මිනිත්තු දෙක තුනෙන් කියාගෙන ගියේය.

මම වැඩිපුර ආස අභ්‍යවකාශ කතාවලට, තරුවලට, පිටසක්වල ජීවීන්ට. මම ආසයි තරු බලන්නත්, තරු දිහා බැලුවම මට හිතෙන්නේ ඒ තරුවල මොනවා ඇතිද කියලා කතාව නොනවත්වාම පුංචි ඉන්ද්‍රජිත් කියාගෙන ගියේත් මට දැනගන්නට ඕනෑ වුණු දෙයක්මය.

පුතා කවදාවත් හඳ දිහා බලලා හඳේ හාවෙක් ඉන්නවා කියලා නැහැනේ අපේ කතා ඇසුණ ඉන්ද්‍රජිත්ගේ තාත්තා තවත් කතාවක් කියන්නට පටන් ගත්තේය. වෙන දරුවන්ට අම්මලා, තාත්තලා හඳ පෙන්නලා කියලා දෙන්නේ හඳේ හාවෙක් ඉන්නවා කියලනේ. අපි කවදාවත් පුතාට එහෙම කියලා නැහැ. හඳේ පේන දේවල් හාවෙක් විදිහට පුතා කවදාවත් අහලත් නැහැ. එයා හඳ දිහා බලාගෙන ඇහුවේ ‘ඇයි තාත්තේ සමහර තැන්වල එළිය අඩු’ කියලා විතරයි. හඳේ ආවාට ගැන විස්තර එයාට කියලා දුන්නාම එයාගේ ප්‍රශ්නේ විසඳුණා.

හඳේ හාවාගේ ඇත්ත කතාව හරියටම දැනගත්ත පුංචි පුතෙක් දකින, පේන හැම දේගැනම ප්‍රශ්න වැලක් අහන පුරුද්ද පුංචි ඉන්ද්‍රජිත් දැනුමැත්තෙක් කරන්නට ඇති.

පුතා පුංචා කා‍ලේ ඉඳලා හැදුණේ අපි එක්කමයි. කතා කරන්න පටන්ගත්තු කා‍ලේ ඉඳලාම දකින දේවල් ගැන ප්‍රශ්න අහන පුරුද්ද පුතාට තිබුණා. වෙන කාටවත් නොදී මමයි පුතාගේ තාත්තයිම නිතරම පුතාව බලාගත්තු නිසා පුතාගේ ප්‍රශ්නවලට උත්තර දීලා ගොඩක් දේවල් කියලා දෙන්න අපට පුළුවන් වුණා දැනුමැත්තෙක් වීමේ ‘රහස’ හරිහැටිම දන්නා අම්මා කී කතාවයි ඒ.

පුතා ආසාවෙන් ඉල්ලපු ‍පොත්පත්, පින්තූර අපි ගෙනැල්ලා දුන්නා. දැන් අවුරුදු ගාණක ඉඳලා හැම අවුරුද්දේම තාත්තයි, පුතයි දෙන්නා කොළඹ ‍පොත් ප්‍රදර්ශනෙන් ‍පොත් ගෙනැල්ලා අවුරුද්ද පුරාම කියවනවා. පුතාගේ වැඩවලට ළඟින්ම ඉන්න ඕන නිසා මහත්තයා දැනට ආයතනයකට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ නැහැ. ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් ව්‍යාපෘතිවල තමයි වැඩ කරන්නේ පුංචි පුතා අනාගතය දිනාගන්නකු කරවන්නට අම්මා, තාත්තා කරනා කැපවීමක තරම අම්මා, තාත්තාගේ ආදරණීය කැපවීම පුංචි පුතාගේ දැනුම කුතුහලය තව තවත් වැඩි කරන්නටද ඇත. අවුරුදු තුනේදි විතර පුතා ලෝක සිතියම්වලට හරි ආසාවෙන් හිටියා. එයාගේ ආසාව නිසා අපි ලෝක සිතියම් දෙකක් ගෙනැත් බිත්තිවල ඇලෙව්වා අලුත් අලුත් දේ ඉගෙනීමට පුංචි පුතාගේ ආසාවන් ගැන අලුත් කතාවකට අම්මා මුල පිරුවාය. සිතියම් ගෙනැල්ලා දුන්නාට පස්සේ එයා තනියම සිතියම කියවලා රටවල්, මුහුදු තියෙන තැන් හොයාගත්තා. අපෙනුත් විස්තර ඇහුවා. වැඩිපුර තාත්තාගෙන් තමයි එයා එක එක දේවල් අහන්නේ. එයාම තනියම ඉගෙනගෙන අවුරුදු තුන වෙද්දී ඕනෑම රටක් තියෙන තැන හරියටම පෙන්වන්න එයාට පුළුවන් වුණා අම්මා කියන්නීය. පුතාව පාසලට ඇතුළත් කරන්න කලින්ම පුතා ගැන විදුහල්පතිතුමා දැනගත්තේ ඔය ලෝක සිතියම ගැන තිබුණු දැනුම නිසා. පුතාව පාසලට ඇතුළත් කරන්න කලින් තිබුණු රැස්වීමකදී විදුහල්පතිතුමා කිව්වා ‘දරුවන්ව දැනුම සොයන්න පුරුදු කරන්න ඕන’ කියලා. ඒ කතාව නිසා පුතා ලෝක සිතියම කියවන වීඩියෝවක් මම විදුහල්පතිතුමාට පෙන්නුවා. ඒ නිසා විදුහල්පතිතුමාත් පුතා පාසලට ආපු දවසේ ඉඳලා පුතාගේ හැකියාව වැඩි කරගන්න ඕන කියන තැනයි හිටියේ තාත්තා කියන්නේ අලුත් ලෝකයක් වුණු පාසලද අපේ පුංචි වීරයාට දැනුම උල්පතක් වූ බවයි. පුතාට අභ්‍යවකාශය ගැන තිබුණු දැනුම, උනන්දුව ගැන ඇහුවාම විදුහල්පතිතුමා සමහර වෙලාවට කිව්වේ මේ නම් වෙන කවුරුවත් ‍නෙවෙයි ආතර් සී. ක්ලාක් ආයේ ඉපදිලා කියලා. හැමෝම පුතාගේ දැනුම ගැන ඒ තරම් පුදුම වුණා. පුතාට පරිසරය පාඩම් වැඩ කරන්න අරගෙන දීපු ‍පොතේ තිබුණු ආවර්තිතා වගුව තමයි පුතාගේ හැකියාව ගැන මුළු ලෝකෙම පුදුම කළේ. කතාව නතර වූයේ අපේ පුංචි වීරයාගේ ලෝකයම පුදුම කළ වීරකම් දැනගන්නට හොඳම තැනිනි. ‍පොතේ ප්‍රින්ට් කරලා තිබුණු ආවර්තිතා වගුව පෙන්නලා හැමදාම අහනවා ඒ මොකක්ද කියලා. බැරිම තැන දවසක් කියලා දුන්නා. පස්සේ මෙයා මේ වගුවේ මූලද්‍රව්‍ය 118ම පාඩම් කළා. නිකම්ම ‍නෙවෙයි ඒ ගොඩක් මූලද්‍රව්‍යවල විස්තර. පරමාණු ගැන විස්තරත් දැනගෙනම ඒක තමයි පුතා තියපු මුල්ම ලෝක වාර්තාව. ඇමෙරිකා එක්සත් ජනපදයේ අඥජධපඤ ඉඥබබතඥප කියන වාර්තාවලට අනුව අඩුම වයසකින් ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය 118ටම කටපාඩමේ කියපු කෙනා අපේ පුතා. ඒ විතරක් ‍නෙවෙයි අඩුම වයස් කාණ්ඩයේ අඩුම කාලයකින් මූලද්‍රව්‍ය 118ම කිව්වෙත් පුතා. තත්පර 58යි පුතාට ගියේ. ඒ නිසා එකම වෙලාවේ ලෝක වාර්තා දෙකක් තිබ්බා. එතකොට වයස අවුරුදු 5යි මාස හයයි. එකේ පන්තියේදී ආවර්තිතා වගුව කියැවීම හපන්කමකි. හරිහැටි දැන කියැවීම කියන්නට බැරි තරමේ හපන්කමකි. අපේ වීරයා ආවර්තිතා වගුව හරිහැටි දැන කියැවූ නිසා සැබෑවටම හපනෙකි. ආවර්තිතා වගුවේ වාර්තාව තියලා මාසයකට විතර පස්සේ පුතා තවත් වාර්තාවක් තිබ්බා ඉලක්කම් ගණන් කරලා. 1 සිට 10100 බලය වෙනකල්. ඒ කියන්නේ ලෝකයේ ගූගල් කියලා හඳුන්වන සංඛ්‍යාව වෙනකල් ගණන් කරපු ලෝකයේ ළාබාලතම කෙනා අපේ පුතා. ඒ ගණන් කරන්න ඉගෙනගෙනත් මගෙන් ඇහුවා ඇයි තාත්තේ එතැනින් එහාට ගණන් කරන්න බැරි කියලා. එයාගේ හිතේ නිතරම තිබුණේ දැනුම ගැන කුතුහලයක්. පස්සේ පුතා ලියපු ‍පොත් දෙකටයි අනෙක් ලෝක වාර්තා දෙක තියන්න පුළුවන් වුණේ. ‘පිටසක්වලයන්ට පාඩමක්’ කියලා පුතා ලියපු ‍පොත තමයි ලෝකයේ ළාබාලම කෙනා ලියපු විද්‍යා ප්‍රබන්ධය. ‘මා දකින ලෝකය’ කියන කවි ‍පොත තමයි ලෝකයේ ළාබාලතම කෙනා ලියපු කවි ‍පොත. විද්‍යාත්මක දැනුමට වැඩිපුර ආසා වුණාට කවි ලියන්න, සින්දු කියන්න, නිවේදනය වගේ හැමදේකටම පුතා දක්ෂයි. චෙස් ක්‍රීඩාවටත් ලොකු දක්ෂකමක් පෙන්වනවා. පාස‍ලේ චෙස් ක්‍රීඩාව පටන්ගත්තේ පවා පුතා නිසා. පුතාගේ වයස් කාණ්ඩයෙන් ලංකාවේ ජාතික මට්ටමේ හිටපු පුතාලව පවා පරදවන්න තරම් දක්ෂයෙක්. වයසින් අවුරුදු හයක් වෙද්දී පුංචි ඉන්ද්‍රජිත් තමන්ගේ නමින් ලෝක වාර්තා පහක්ම ලියවාගෙන අවසන්ය. අඩුම වයසේ ‍ලේඛකයා ලෙස ගිනස් ‍පොතේ නම ලියැවෙන්න කළ ඉල්ලුම්වලටද යහපත් ප්‍රතිචාර ලැබි තිබුණි. පාස‍ලේ තිබුණු ප්‍රදර්ශනවලට පුංචි පුංචි අලුත් නිර්මාණත් පුතා හැදුවා. එයාට හැකියාවන් ගොඩක් තියෙන එක ගැන අපට තියෙන්නේ ලොකු සතුටක්. නිතරම දැනුම හොයන්න හරි ආසයි. මොනවා හරි දෙයක් ඇහුවාම කියලා දෙනකල්ම පස්සෙන් එනවා. කියලා දුන්නාට පස්සෙත් වැඩි විස්තර ඉන්ටර්නෙට් එකෙන් හොයනවා පුංචි පුතාගේ කතා නිමක් නැත. දස්කම්ද නිමක් නැත. දඟකම්ද නිමක් නැත. තාත්තා, අම්මා කී මේ කතා ඇසෙන මානයකවත් අපේ පුංචි වීරයා නොසිටියේ ඒ නිමක් නැති දඟකම් නිසාමය. මම ආසයි ගණන් හදන්න. හැබැයි කවි ලියන්නත් ආසයි. වැස්ස දිහා එහෙම බලාගෙන හිටියාම මට කවි ලියන්න හිතෙනවා. අපි හවසට අම්මාව ගෙදර එක්කගෙන එන්න යද්දී තාත්තාගෙන් මම එක එක දේවල් අහනවා. අම්මාගෙනුත් අහනවා. හැබැයි මම වැඩිපුර ආස තරුවලට. පිටසක්වල ජීවීන්ට දඟමල්ල අල්ලාගෙන අන්තිමට වචන දෙක තුනක් අසාගන්නට මම වාසනාවන්ත වීමි. පුංචි ආතර් සී. ක්ලාක් ඒ මොහොතේද මතුවී ආවේය. තරු ගැන ඉගෙන ගන්න ගණන් හදන්න ආසයි. හැබැයි මම වැඩිපුරම ආසා හැමෝටම උදව් කරගෙන උගත් කෙනෙක් වෙන්න පුංචි ආතර් සී. ක්ලාක්ගෙන් අන්තිම වචන ටික අසාගත්තේ නම් අමාරුවෙනි. වයසින් පුංචි අපේ පුංචි වීරයාගේ වයසට වඩා ලොකු දස්කම්වලින් අපේ කන් පිරී ගියේය. දඟකම් වලින් ඇස් පිරී ගියේය. ලොකු ලොකු දස්කම් වලින් අපේ පුංචි රට ලෝකයටම ගෙන යන්නට අපේ පුංචි වීරයා සිහින දකින්නේය. අපිද ඒ සිහිනයට සුබ පතමින් පුංචි දඟකම් පිරි දක්ෂයාගෙන් සමුගතිමු.

 

නෙලූෂා සිල්වා | (ඡායාරූප -වෙනුර චන්ද්‍රමාලිත)


Comments

comments

Leave a Reply

Top