You are here
Home > DOCUMENTRY > ජනතාවට තෘප්තිමත් සේවයක් ලබාදිය නොහැකිනම් භෞතික සම්පත් කෙතරම් දියුණු කළත් ඵලක් නැහැ – ජනපති

ජනතාවට තෘප්තිමත් සේවයක් ලබාදිය නොහැකිනම් භෞතික සම්පත් කෙතරම් දියුණු කළත් ඵලක් නැහැ – ජනපති


ගොඩනැගි කොපමණ ලස්සන වූවත්, එහි නව තාක්ෂණික උපකරණ තිබුණත්, සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවට සේවය සැලසීමේදී ඔවුන්ට තෘප්තිමත්භාවයක් ඇතිකළ නොහැකි නම් තාක්ෂණික උපකරණ, මෙවලම් කොතරම් අලූත් වූවත් අපිට සෑහීමකට පත්වීමට පුළුවන්කමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නව තාක්ෂණික උපකරණ සමග සේවාවන් තුළ ඇතිවන කාර්යක්ෂමතාවය සහ විධිමත්භාවය සේම පැමිණෙන ජනතාවට සුහදශීලි සේවාවක් ලබාදී තෘප්තිමත් මනසකින් යුතුව පිටව යා හැකි අයුරින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දීම කාර්ය මණ්ඩලවල වගකීම බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

ඒ, මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැළසීමේ අරමුණින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල සුහුරුපාය නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමේ අවස්ථාවට ඊයේ(29) පස්වරුවේ එක්වෙමිනි.

ආගමන විගමන කටයුතු හා පුද්ගලයින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පවතින නීති රීති ශක්තිමත් කිරීම සහ අවශ්‍යනම් නව නීති රීති සම්පාදනය කිරීමට රජය කටයුතු කරන බවත්, සංක්‍රමණිකයින්ගේ සහ සරණාගතයින්ගේ ගැටලුව අද බටහිර රටවල් නොසන්සුන් කර තිබෙන අතර අපේ රටටද බලපාන එම අයහපත් තත්ත්වයන් මගහරවා ගැනීමට නව සැලසුම් ඔස්සේ කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.  ආගමන විගමන කටයුතු සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට මීළග ආරක්ෂක මණ්ඩල රැස්වීමට එම දෙපාර්තමේන්තුවල නිලධාරින් කැඳවන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

අපේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවාවක් ඉටුකරන අමාත්‍යාංශ සහ ඊට අදාළ අංශ විධිමත්ව, සැලසුම්සහගතව, කාර්යක්ෂමව සේවාවන් ඉටු කිරීම සඳහා සුහුරුපාය නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව සතුටු වන බවත්, යුද්ධය පැවැති කාලයේදී අපේ ආරක්ෂක හමුදා විසින් ඉටු කළ සේවාවට සමාන විශිෂ්ට සේවාවක් මෙම දෙපාර්තමේන්තු මගින් ඉටුකළ හෙයින් ඔවුන්ගේ ඒ සේවයට අවශ්‍ය නව වැඩපිළිවෙළක්  ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ජනපතිවරයා එහිදී සඳහන් කර සිටියේය.

මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැලසීමේ අරමුණින් සියලූ පහසුකම්වලින් හා නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විතව සුහුරුපාය නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබේ.

අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, නිමල් සිරිපාල ද සිල්වා, පාඨලී චම්පික රණවක, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන පාලිත තෙවරප්පෙරුම, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Comments

comments

Leave a Reply

Top