88
You are here
Home > DEVELOPMENT > කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඉඩම් ලබා දෙන්නේ බදු පදනම මතයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඉඩම් ලබා දෙන්නේ බදු පදනම මතයි


කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සින්නක්කර පදනමින් ඉඩම් ලබා දෙන්නේ නැති බව රජය අවධාරණය කරයි. ඒ සඳහා ඉඩම් ලබා දෙන්නේ අනූනව අවුරුදු බදු පදනම මත බව ද රජය පවසයි. ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇණ හිටීමෙන් ඇති වූ පාඩුව සඳහා ඉදිරිපත් කළ වන්දි ඉල්ලීම් ඉවත් කර ගැනීමට ද චීන ව්‍යාපෘති සමාගම එකඟතාව පළකර තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව රජය චීන සමාගම සමග එළඹි නව ගිවිසුමට අනුව එම ව්‍යාපෘතියට ඉඩම් ලබා දෙන්නේ සින්නක්කරව නොව අනූනව අවුරුදු බදු පදනම මතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී සබඳතා රැසක් ගොඩනැගුණි. එහි ප්‍රතිඵලයක් ලෙස වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන චීන සමාගම රජයෙන් වන්දි ඉල්ලා යොමුකර තිබූ ඉල්ලීම් ඉවත් කර ගැනීමට තීරණය කොට තිබේ. ව්‍යාපෘතිය අත්හිටුවීම , නැවත ආරම්භ කිරීම හා ද්‍රව්‍ය අපතේ යාම යන කරුණු පදනම් කර ගනිමින් එම සමාගම වන්දි ඉල්ලා ලිපි යොමුකර තිබුණි. එම තීරණයත් සමග චීන සමාගම රජයෙන් ඉල්ලා ඇත්තේ ඉඩම් හෙක්ටාර දෙකක් අතිරේකව තමන්ට ලබා දෙන ලෙසයි.

මෙම යෝජනාවට රජය එකඟත්වය පළකර තිබේ. වරාය නගර ව්‍යාපෘතියට කළින් වෙන් කළ පොදු ඉඩම් ප්‍රමාණය තවත් හෙක්ටාර 28කින් වැඩි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කිරීමට නියමිතය. වරාය නගර ව්‍යාපෘතිය යටතේ ගොඩකරනු ලබන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටාර 269 කි. සිංගප්පූරුව හා ඩුබායි අතර පවතින හිඩැස පිරවීම සඳහා මූල්‍ය නගරයක් ගොඩනැගීමට මෙම භූමිය යොදා ගැනෙනු ඇත. පාරිසරික ගැටලු අවම වන පරිදි ඉදිකිරීම් සිදු කිරීම රජයේ අරමුණ වේ.


Comments

comments

Leave a Reply

Top