97
You are here
Home > DEVELOPMENT > සිඳී යන හීල් ඔයෙන් මතුවන උමා ඔයේ දුක් කඳුළු

සිඳී යන හීල් ඔයෙන් මතුවන උමා ඔයේ දුක් කඳුළු


රටක ඉදිරි ගමන තීරණය කරනුයේ එරට පවතින සංවර්ධනයේ ප්‍රගතිය තුළින්ය. කෙසේ වුවද එම සංවර්ධනය රටේ සියලු ‍පොදු ජනතාවට යහපතක් වන හා ඒ හරහා කිසිදු පුද්ගලයකු අපහසුතාවට පත් නොවන එකක් වීම අනිවාර්ය කාරණයකි.

උමාඔය බහුකාර්ය සංවර්ධන වැඩපිළිවෙළ යනු දකුණු පළාත් හම්බන්තොට ප්‍රදේශයේ සිදු කිරීමට යෝජිත යෝධ සංවර්ධනය සඳහා ජලය ලබාදීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය වැලිමඩ සිට හම්බන්තොට දක්වා බදුල්ල, මොනරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක ත්‍රිත්වය තුළ ක්‍රියාවට නැංවීම උදෙසා අවශ්‍ය පසුබිම සකසා තිබේ. කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම උමාඔය නිම්නය පුරා මතුකර ඇති ගැටලු ප්‍රමාණය අප්‍රමාණය.

මෙහි නවතම ගැටලුව වනුයේ කිරිඳිඔයෙහි ප්‍රධාන අතු ගංගාවක් වන හීල්ඔය පල්ලෙපෙරුම ප්‍රදේශයේ පල්ලෙපෙරුම පාලම ආශ්‍රිත ප්‍රදේශයේ දී සිඳී යාමයි.ඉතිහාසයේ කිසිදු නියඟයක දී සිඳී නොගිය මෙම දිය පහර උමාඔය ව්‍යාපෘතියේ වැඩකටයුතු යළි ආරම්භ කරමින් ප්‍රධාන උමග කැණීම සිදු කිරීමත් සමග සිඳීයමින් තිබෙන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එලෙසම තමා අවට පරිසරයේ තිබූ බොහෝ දිය පහරවල් සිඳී ගොස් ඇති අතර මඩට එරුණු කුඹුරු යායවල් සියල්ල මේ වන විට වියළිව ඉරිතළා තිබේ. නිල් කැටේට දිය පිරී තිබූ ළිං සියල්ල සිඳී යමින් පවතින අතර මේ වනවිට සතියක පමණ කාලයක දී සිඳීගොස් ඇති ළිං සංඛ්‍යාව 70කට අධිකය.

උමාඔය ව්‍යාපෘතිය නිසා මීට පෙර කිසිදු උවදුරකට මුහුණ නොදී තිබූ උඩපෙරුම ප්‍රදේශය ද ප්‍රධාන උමගේ ඉදිරි කැණීම් නිසා පීඩාවට පත්වන ප්‍රදේශ අතරට එක්ව තිබේ. ඒ අනුව මෙම ප්‍රදේශයේ තිබූ කුඹුරු සියල්ල ඉරිතළා ඇති අතරම හීල්ඔයේ සිඳීයාම නිසා ඒ අවට තිබූ කුඹුරු සියල්‍ලේ වගා කටයුතු අතහැර දැමීමට සිදුව ඇත.

ගොවිතැනින් දිවි රැකගත් ප්‍රදේශවාසීන් බොහෝ දෙනකු අද අසරණව සිටිනුයේ සිය වගාබිම ද ඉරිතැළීම නිසා නිවස ද යන දෙකම අහිමිවීම නිසාය.

ප්‍රදේශයේ මේ දිනවල පවතිනුයේ දැඩි නියඟයකි. මේ නිසා ප්‍රදේශවාසීන් දැඩි ජල අර්බුදයකට මුහුණ දී සිටින අතර ළිං ජලය අහිමි වූ අයට දින පහකට පමණ ජලය ලීටර් 1000ක් ලබාදීමට ක්‍රියා කළ ද ඔවුනට සිය ෙදෙනික අවශ්‍යතා සපුරාගැනීම උදෙසා මෙය කිසිදු අයුරකින් ප්‍රමාණවත් නොවේ. එලෙසම මේ වනවිට උමාඔය ව්‍යාපෘතියේ බලපෑම මත ප්‍රදේශයේ මකුලැල්ල, කුරුඳුගොල්ල, වෙහෙරගලතැන්න, එගොඩගම, බොරලන්ද, රජකොටුව, උඩපෙරුව, පල්ලෙපෙරුව යන ගම්මානවල නිවාස 2000ක් පමණ ඉරිතළා තිබෙන අතර සම්පූර්ණයෙන් සිඳී ඇති ළිං ප්‍රමාණය 900කට අධිකය.

මේ සා විශාල පාරිසරික, සමාජීය අර්බුද රැසක් නිර්මාණය කිරීමට දායක වී තිබෙන උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ආරම්භයම අර්බුදයකි. වර්ග කිලෝමීටර් 720ක පමණ ජල ද්‍රෝණියකට උරුමකම් කියන උමාඔය ආරම්භ වනුයේ පිදුරුතලාගල කන්දෙනි. මෙම ජල ද්‍රෝණියෙන් 65ක ප්‍රමාණයක් ඌව පළාතට අයත් අතර ඉතිරි 35ක ප්‍රමාණය පිහිටියේ මධ්‍යම පළාතෙහිය. මහවැලි ව්‍යාපාරයේ ප්‍රධාන ජලාශයක් වන රන්ටැඹේ ජලාශයෙහි ප්‍රධාන ජල ‍පෝෂකය වනුයේ ද උමාඔය වේ. මෙම දියවරෙහි ජලයෙන් උමාඔය නිම්නය පුරා වී, එළවළු හා අර්තාපල් වගා කෙරෙන අතර මීට අමතරව මෙහි ගව පාලනය ද බහුල ලෙසට සිදු කෙරේ. නව උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය හරහා ඉදිකෙරෙන පුහුල්‍පොළ ජලාශයේ හා ඔයවරා ජලාශයේ ඉදිකිරීම් සමග මෙම වගාබිම් අතරින් බහුතරය ඒවාට ගොදුරු වේ. මේ අනුව රටට අහිමි වන වාර්ෂික වී අස්වැන්න මෙට්‍රික් ටොන් 153කි. ඒ අනුව රුපියල් මිලියන 4.6ක ආදායමක් ද රටට අහිමි වේ. රුපියල් මිලියන 6ක පමණ ආදායමක් රටට ලබාදෙන එළවළු හා අර්තාපල් අස්වනු මෙට්‍රික් ටොන් 135ක් පමණ ද මේ සමග රටට අහිමි වේ. එලෙසම සිය ගොදුරු බිම් අහිමිවන ගවයින් අසල ඇති රක්ෂිත වනාන්තර වෙත යොමුවීම වළකා ගත නොහැකිය. මෙය නව පරිසර ගැටලුවකට අතවැනීමකි. උමාඔය නිම්නයට කිරි නිම්නය යැයි පවසනුයේ ද එහි සිටින කිරි ගවයින් ප්‍රමාණය නිසාය. ඒ අනුව රටට සැලකිය යුතු ප්‍රමාණයේ දියර කිරි ප්‍රමාණයක් ද අහිමි වීම කනගාටුවට කාරණයකි.

1991 දී මධ්‍යම ඉංජිනේරු උපදේශ කාර්යාංශය මගින් මෙම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකසන ලද අතර එය ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ එහි වූ තාක්ෂණික දුර්වලතා නිසාය. පසුව 2008  අප්‍රේල් මස 09 වැනි දින මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර ඒ මෙරට නීතියට අනුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු මූලික පරිසර අධ්‍යයන වාර්තාව සකසා ඊට අනුමැතිය ලබාගෙන නොවේ.

මේ පිළිබඳව පරිසර ඇගයීම් වාර්තාව සැකසීම ආරම්භ වූයේ 2010 නොවැම්බර් මාසයේ දී වන අතර මෙම ව්‍යාපෘතියට එරෙහිව ලිඛිත විරෝධතා විශාල ප්‍රමාණයක් ලැබුණි. එලෙසම අදාළ පරිසර ඇගයීම් වාර්තාවේ තාක්ෂණික දෝෂ විශාල ප්‍රමාණයක් තිබූ අතර ඒ සියල්ල නොසලකා හරිමින් මධ්‍යම පරිසර අධිකාරිය අදාළ වාර්තාවට අනුමැතිය ලබා දුන්නේ කොන්දේසි සහිතවය. වසර 5කින් නිමකිරීමට යෝජිත වූ උමාඔය ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් මිලියන 76,316කි. ඉන් ලංකා රජය දරන වියදම රුපියල් මිලියන 24,600කි. ඉතිරි වියදම දරනුයේ ඉරාන අපනයන බැංකුව මගිනි.

මෙම ව්‍යාපෘතියට අදාළ පරිසර ඇගැයීම් වාර්තාවේ හෝ මූලික ශක්‍යතා වාර්තාවේ ව්‍යාපෘතිය නිසා හානියට පත්වන පරිසරයට හෝ අවතැන් වන ජනතාවට සිදුවන හානියේ තක්සේරුව පිළිබඳව නිසි පරිදි සඳහන් නොවේ. මෙය විශාල ගැටලුවකි. මෙම ව්‍යාපෘතියේ උමං මාර්ග 7ක් ඉදිවන අතර එහි ප්‍රධාන උමං මාර්ගයේ දිග ප්‍රමාණය කිලෝමීටර් 15.15කි. මෙහි සැලකිය යුතු දුර ප්‍රමාණයක් දිවයනුයේ මිනිස් ජනාවාස යටිනි. මෙහි කැණීම් ආරම්භය ද සමගම උමගට ඉහළින් ‍පොළොවේ පිහිටි භූගත ජලය උමග තුළට කාන්දුවීම ආරම්භ වූ අතර ප්‍රදේශයේ ජන ජීවිත අඩාළවීම ඇරඹුණේ මේ සමගය. මේ වනවිට ප්‍රදේශයේ ළිං සිඳීයමින්, නිවාස ඉරිතලමින්, වගාබිම් පාළු වෙමින් ඔවුන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාළ වී හමාරය. මේ කිසිදු ගැටලුවකට පැවැති රජය හෝ මේවාට විසඳුම් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි රජය විසඳුම් ලබා දී නොතිබිම සැබෑවටම කනගාටුවට කාරණයකි. මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජන ජීවිතය මෙලෙස අඩාළ කරන අතරම ඒ හරහා කඳුකරය අස්ථාවර වීම ද වළකාලිය නොහැකිය. උස් කඳුකරය තුළ මෙලෙස කැණීම් සිදු කිරීම නිසා පාංශු ස්ථර අස්ථාවර වීම, ජල උල්පත් වෙනස්වීම වැනි දෑ සිදුවීමට ඇති ඉඩකඩ ඉහළය. මීට අමතරව අදාළ කැණීම් කරන ප්‍රදේශවල නායයෑමේ තර්ජනය උග්‍ර වීම, පාංශු ඛාදනය උග්‍රවීම වැනි අවදානම් ද සිදුවන බවට පරිසරවේදීහු දිගින් දිගටම අනතුරු අඟවති. මීළඟට මතුවන ගැටලුව වනුයේ මේ ආකාරයට ප්‍රදේශයේ ජන ජීවිතය අඩාළ කරමින් පරිසරයට විශාල හානියක් සිදු කරමින් ඉදිකෙරෙන උමාඔය ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ ඒ ලෙසටම ඉටුවේද යන්නයි.

මහවැලි සී හා බි කලාපවලට දියවර රැගෙන යන රන්ටැඹේ ජලාශයේ ප්‍රධාන ජල සම්පත්දායකයා වන උමාඔය මෙලෙස දකුණට හරවා යැවීම මගින් මහවැලි ව්‍යාපාරයට ද ජල අර්බුදයකට මුහුණපෑමට සිදු වේ. අවසානයේ සිදුවනුයේ මේ සංවර්ධන ව්‍යාපෘති දෙකම අඩාළ වීම පමණි.

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් වූ ජනතා ව්‍යාපාරයේ සභාපති එම්.ඒ. බෝධිපාල මහතා
මේ ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ කැණීම් දැන් ආපහු ආරම්භ කරලා තියෙනවා. ඒ සමගම නව ප්‍රදේශවලට ගැටලු ඇතිවෙලා. අපි දැන් ආපහු පාරට බහිනවා අපේ අහිමි වුණ අයිතිය ඉල්ලලා. හැබැයි මේ පාරට එන්නේ ආපහු යන්න නම් ‍නෙවෙයි.

සජීව චාමිකර මහතා – අධ්‍යක්ෂ පරිසර සංරක්ෂණ භාරය
2008 දී මුල්ගල තියලා නීති විරෝධී ලෙසට උමාඔය ව්‍යාපෘතිය ආරම්භ කළ දින සිටම අපි පරිසරවේදීන් ලෙසට මෙයට විරුද්ධ වුණා. මෙම ප්‍රදේශය නිර්මාණය වෙලා තියෙන්නේ අවසාදිත හා විපරිත පාෂාණවලින්. මේ නිසා ප්‍රදේශයේ උමං කැණීම කරනා ‍පොළොව අස්ථාවර වෙලා නායයාම්, භූගත ජලය සිඳෙනවා කියලා අපි එදා කියපු දේවල් අද සිද්ධ වෙලා.

මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා – සභාපති මධ්‍යම පරිසර අධිකාරිය
උමාඔය ව්‍යාපෘතිය පිලිබඳව අප දිගින් දිගටම පසු විපරමක යෙදෙනවා. පහුගිය දිනක ද  එලෙස පසු විපරමේ යෙදීමට පිරිසක් මේ ප්‍රදේශයට ගියා. මට තවම වාර්තාව ලැබිලා නෑ. මාස 6කට වරක් පමණ මේ ප්‍රද්ශයේ පසුවිපරමේ යෙදීමට අවශ්‍ය කටයුතු කරනවා.

91

165

vlcsnap-2015-01-26-11h19m17s188

රිවිර 


Comments

comments

Leave a Reply

Top