81
You are here
Home > LATEST NEWS > රාජපක්ෂ ආණ්ඩුව කළ දේම මේ ආණ්ඩුවත් කරනව නම් රජය රැක ගන්නට මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිම අවශ්‍යතාවක් නෑ – රජිත කීර්ති තෙන්නකෝන් –

රාජපක්ෂ ආණ්ඩුව කළ දේම මේ ආණ්ඩුවත් කරනව නම් රජය රැක ගන්නට මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිම අවශ්‍යතාවක් නෑ – රජිත කීර්ති තෙන්නකෝන් –


 

 මේ රටේ සිවිල් සමාජය රාජපක්ෂ විරෝධය විකුණගෙන කමින් සිදු කරමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී නොවන කරුණු කාරණා තව දුරටත් ඉවසන්නේ නැහැයි කියන නිශ්චිත පණිවිඩය මේ රජයට ලබාදිය යුතුයි. රාජපක්ෂ ආණ්ඩුව කළ දේම මේ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා කරනව නම් මේ ආණ්ඩුව රැක ගන්නට මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිම අවශ්‍යතාවක් නෑ. මේ පණිවිඩය ඉතාම පැහැදිළිව අප රටට මතු කළ යුතු බව රජිත කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(15) මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ‘‘මහා භාණ්ඩාගාරය බේරා ගනිමු. මහ බැංකු අධිපති ගෙදර යවනු“ මැයෙන් දූෂණ විරෝධී පෙරමුණ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණය අමතමිනි.

මේ රජය බලයට පත්වන විට දූෂණ විරෝධය කරේ තියාගෙන, සිවිල් සමාජයේ න්‍යාය පත්‍රය හයියක් කරගනිමින් තමයි බලයට පත් වුණේ. අති බහුතරයක් පීඩාවට පත්වුණු මිනිස්සු, මරණ භය දැණුනු මිනිස්සු, ආගම, කුලය නිසා පීඩාවට පත්වුණු පුද්ගලයන් හැමෝටම නිදහස පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණ. දූෂණයෙන් වංචාවෙන් ගැලවීම පිළිබඳ අපෙක්ෂාවක් තිබුණ. ඒ අපේක්ෂාවේ මාවතේ ගොස් තමයි මේ ආණ්ඩුවට බලයට පත්වීමට හැකි වුණේ.

නමුත් මේ ආණ්ඩුව බලයට පත්වෙලා ඉතාම කෙටි කාලයකින් අර්ජුන් මහේන්ද්‍රන් කියන පුද්ගලයා සිංගප්පූරුවේ ඉඳල ශ්‍රී ලංකා මහ බැංකුවට ආනයනය කළා. ශ්‍රී ලාංකිකයෙක් කියල අනන්‍යතාවයක් නැති පුද්ගලයෙක්ට මේ වගේ තනතුරක් දෙන්න පුළුවන්ද කියල අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කළත් මේ වනතෙක් ඒ සඳහා කිසිම පිළිතුරක් ලබාදී නැහැ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2002 – 2004 එකම පඹ ගාලක් බවට පත්කරපු පුද්ගලයට මේ තනතුර දෙනකොට බොහෝ දෙනෙක් මේකට විරෝධය පළ කලා. නමුත් අගමැතිවරයාගේ පුද්ගලික ඇපවීම මත තමයි අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා බවට පත්වුණේ. ඔහු මේ තනතුරට පත්වී සති කිහිපයක් යන්නට පෙර දැවැන්ත මූල්‍ය චෝදනාවකට, බැඳුම්කර සිද්ධියේ පළමු සිදුවීමට මුහුණ දෙනව.

ඉන් කෙටි කලකට පසුව දෙවන බැඳුම්කර සිද්ධියත් හෙළිදරවු වෙනව. අද මේක යට ගහන්න විවිධ කණ්ඩායම් විවිධ දේවල් කරනව. අර්ජුන් මහේන්ද්‍රන් පාක්ෂිකයන් මහ බැංකුවේ දත්ත මකා දමන්න උත්සහ ගන්නව. විවිධ දේශපාලඥයන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් මේ සිදුවීම යට ගහන්න උත්සාහ දරමින් ඉන්නව.

මේ බැඳුම්කර සඳහා ආයෝජනය කරල තියෙන ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රමාණය කොපමණද?

ඒ මුදල් ආයෝජනය කළේ මොන සමාගම් හරහාද?

මේවට උත්තර දෙන්න අර්ජුන මහේන්ද්‍රන් එන්නෙත් නෑ. ඔහුගේ බෑන එන්නෙත් නෑ. මේ ආණ්ඩුව රැක ගන්න අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් ඇපවෙන අය එන්නෙත් නෑ.

ලංකාවේ මූල්‍ය විනය රැකගන්න බැරි මූල්‍ය පාලක මණ්ඩලයේ එකෙක් එහි සභාපතිවරයා වීමෙන් මේ රටට වැඩක් නෑ. මම කතා කරන්න කැමති නෑ මේ පුද්ගලයා මේ වන විට ඇඳුම්වලට සංචාරවලට වියදම් කරල තියෙන මුදල් ප්‍රමාණය.

ලංකාවේ බැංකු නීතිය අනුව මහ බැංකු අධිපතිවරයාට ශාස්ත්‍රීය කටයුතු සඳහා ගෙවීමක් නොකර කරන සේවාවන්ට අමතරව කටයුතු කරන්න බැහැ. ඉතාම පැහැදිළිව අර්ජුන් මහේන්ද්‍රන් ස්විස් ක්‍රෙඩිට් සමාගමේ සේවා සපයන පුද්ගලයෙක් ලෙස නීති විරෝධී අන්දමින් කටයුතු කරල තියෙනව. මොහු ලංකාවේ මිලියන දෙකක් වන කම්කරු ප්‍රජාවගේ සේවක අර්ථ සාධක අරමුදලත්, සේවක භාර අරමුදලත් හොරකම් කරල මාමා බෑණ සමාගම දියුණු කළා.

මේ රටේ දැනුම් තේරුමක් තියෙන මිනිසුන් ඉදිරිපිට අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ වගකීම් පැහැර හැරපු රාජ්‍ය නිලධාරියෙක්, ඔහු ලංකාවේ කිසිම පුරවැසියෙකුට වග කියන්නේ නැති සිංගප්පූරු පුරවැසියෙක්, වැඩ කරන්න පමණක් වීසා බලපත්‍රයක් ලබාගත් පුද්ගලයෙක්, බ්‍රහස්පතින්දාට තමන්ගේ පවුල බලන්න ලංකාවේ දුප්පත් මහ ජනයාගේ මුදලින් සිංගප්පූරුවට යන්නෙක් පමණයි.

මෙවැනි වංචනිකයන් නැවත වරක් මෙම පුටුවේ වාඩි නොකොට ඉවත්කොට ලංකාවේ මූල්‍ය විනය රැකගත හැකි, මූල්‍ය කළමණාකරණයෙන් ඉහළ පුද්ගලයෙක් පත්කර ගැනීමේ අවස්ථාව එළඹ තිබේ. එසේ නොකිරීමට මේ රටේ පාලකයන් ක්‍රියා නොකරන්නේ නම් අපේ මේ සටන අපි ජුනි 23 වන දා මේ මහ පොළොවට රැගෙන ඒමට සූදානම් බවට රජයට අනතුරු අඟවනවා.


Comments

comments

Leave a Reply

Top